දකුණු පළාතට පොලිස් අපරාධ කොට්ඨාස දෙකක්

දකුණු පළාතේ පසුගිය කාලසීමාවේ වර්ධනය වූ අපරාධ රැල්ල මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙන් නව ඒකක දෙකක් පිහිටුවා තිබේ.

ඒ අනුව ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාස යන නමින් මෙම නව ඒකක පිහිටුවා ඇත.

එක් කොට්ඨාසයකට අපරාධ මර්දනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලද නිලධාරීන් 30 දෙනෙකු බැගින් අනුයුක්ත කිරීමටත් එම ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු බැගින් අනුයුක්ත කිරීමටත් පොලිසිය තීරණය කර තිබෙන අතර මෙම ඒකකවලට සහය දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුව ලද නිලධාරීන් පිරිසක්ද සිවිල් ඇඳුමින් සේවයේ යෙදවීමට සැළසුම් කර ඇති බවද වාර්තාවේ.

මෙම ඒකකවල මෙහෙයුම් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ දකුණු පළාතේ ප්‍රදේශ ගණනාවකින් වෙඩි තබා ඝාතනය කිරීම් ඇතුලු අපරාධ ක්‍රියා රැසක් වාර්තා විය.

Leave a Reply