දකුණු පළාතට ගුරුවරු 3000ක හිඟයක්

දකුණු පළාත තුළ මේ වන විට ගුරුවරුන් 3000කගේ පමණ ගුරු හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය.

මින් ප්‍රාථමික ගුරුවරුන්ගේ හිඟය බරපතළ ලෙස දකුණු පළාතේ පාසල් පද්ධතියට බලපා ඇති බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙ බව පැවසීය.

“ගුරුවරුන්ගේ හිඟය පමණක් නෙවෙයි අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 60 දෙනකුගේ සහ විදුහල්පතිවරු 400 දෙනකුගේ පමණ පුරප්පාඩු තියෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ එකවර විශාල පිරිසක් විශ්‍රාම යෑම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා. දැනට රාජ්‍ය ආයතනවල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීමට සැලසුම් කළත් තවත් උපාධිධාරීන් පිරිසක් අධිකරණයට යෑම නිසා ගුරුවරුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරලා තියෙනවා. විද්‍යා පීඨවලින්ද ගුරුවරු 800ක් පමණ ලැබෙනවා.

දකුණු පළාත් සභාව මඟින් පාලනය වන පාසල් 1007ක් තියෙනවා. මධ්‍යම රජය මඟින් පාසල් 64ක් පාලනය කරනවා. පළාත් සභාව සතුව පැවැති පාසල් 96ක් ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු කළද අර්බුද නිසා එම පාසල්ද සංවර්ධනය කිරීමට නොහැකි වීම නිසා ඒ පාසල්ද නඩත්තු කිරීමට පළාත් සභාවට සිදුවී තියෙනවා. කෙතරම් අභියෝග බාධක තිබුණද අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵලවලින් දකුණු  පළාත පිට පිටම අටවන වතාවටත් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමි කරගෙන තියෙනවා. ජනප්‍රිය පාසල්වල පවතින තදබදය නතර කිරීම සඳහා දකුණු පළාතේ සෞභාග්‍යා පාසල් 25ක් සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply