තද වැසි සහ තද සුළං සමඟ අමුත්තා හෙට ශ්‍රි ලංකා වෙරළ තීරයට

ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසින් පවතින පීඩන අවපාතය හෙට (01) පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එැබැවින් අද (31) දිනයේදී ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මී.මි 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකිය. 

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50-60 පමණ තද සුළං බලාපොරොත්තු වේ

මේ අතර අද (31) සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දීමක් කලේය

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ  දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රා කරන ලෙසය.

Leave a Reply