ඩොලර් ගිණුමකට විදේශ මුදල් මාරු කිරිමේ කොන්දේසි මත හජ් වන්දනාවට අවසර

2022 වර්ෂයේ ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා වන්දනාකරුවන් යැවීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් අවසර ලබා දී ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පෙරේදා (07) සංස්කෘතික අමාත්‍යාංශයේ දී පරිසර අමාත්‍ය හාෆිස් නසීර් අහමඩ්, ප‍්‍රමුඛ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, සමස්ත ලංකා හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සහ හජ් චාරිකා සංගමය යන සංගම් දෙකෙහි සහභාගිත්වයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සෞදි අරාබි රජය මේ වසරේ ශ්‍රී ලංකාවෙන් හජ් වන්දනාව සඳහා 1585 ක කෝටාවක් ලබා දී ඇත.

මෙම වසරේ හජ් වන්දනාවේ ගාස්තු ලෙස සාධාරණ මුදලක් අය කරන ලෙසද ,ඒ සඳහා මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා හජ් සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගම්වලට උපදෙස් ලබා දී තිබේ.

මෙම වසරේ හජ් වන්දනා කිරීමට බලාපොරොත්තු වන අයඳුමකරුවන් විසින් 2022 ජුනි මස 10 වැනි සිකුරාදා දිනට පෙර ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කරන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ

එමෙන්ම අයදුම්කරුවන් පහත කොන්දේසි සපුරාලීය යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

1. පරිපාලන ගාස්තුව රු. 4,000/- (එය හජ් සංචාරක ක්‍රියාකරු විසින් ගෙවනු ලැබේ.)

2. තහවුරු කිරීමේ ගාස්තුව රු. 25,000/- (නැවත ආපසු ලබා ගැනීමේ කොන්දේසියට යටත්ව)

3. කලින් ලියාපදිංචි වී ඇත්නම්, ගෙවීම් කල රිසිට්පතේ පිටපතක්.

4. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.

5.හජ් වන්දනාව අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ නම් කරන ලද ඩොලර් ගිණුමකට ඩොලර් 1,500/- හෝ ඊට සමාන විදේශ මුදල් මාරු කිරීම.

6. ප්‍රවේශ ගාස්තු ගෙවා ලියාපදිංචි වී ඇති බැතිමතුන්ට ප්‍රමුඛත්වය දෙනු ලබන අතර , වන්දනාකරුවන්ට “පළමුව පැමිණෙන අයට පළමු සේවය” පදනම මත අවස්ථාව හිමි වේ.

7. ලියාපදිංචි බැතිමතුන්ට ඔවුන්ගේ හජ් ක්‍රියාකරු තමන් විසින්ම තෝරා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

එමෙන්ම, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයේ තීරණය රාජ්‍යතාන්ත්‍රිකව සෞදි අරාබි රජය වෙත දන්වා තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply