ඩෙංගු හැඳුණු දරුවන් පරිස්සම් වන ලෙස දැනුම්දීමක්

ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු දරුවන්, කඩිනමින් යළි වෙහෙසකර කාර්යන්ට යෙදවීම තුළින් අක්මාවට සිදුවන හානිය දරුණු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

“ඩෙංගු සුව වී ගෙන එනකොට සතියක් දෙකක් යනකල් දරුවාව වැඩිපුර මහන්සි කරවන්න එපා. අක්මාව ඩැමේජ් වුණොත් මොළයට බලපාන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු කියන එක ලේසියට ගන්න එපා. ඩෙංගු හැදුණොත් එකේ සංකූලතා එන්න පුළුවන්.”

ඩෙංගු වැළඳුනු දරුවන් 40ක් මේවනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

“ළමා රෝහලේ අද වෙනවිට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම්, දවස් දෙක තුනකට වැඩිය උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතැනදි සුදු රුධිරාණු හා පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් රුධිර පට්ටිකා 150ට වගේ අඩුවෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න.”

“දරුවාට ස්වභාවික දියර ආහාර දෙන්න. රතු පාට කළු පාට ආහාර ලබාදෙන්න එපා. පැරසිටිමෝල් මාත්‍රාවට පමණක් ලබාදෙන්න. ඕනවට වැඩිය පැරසිටිමෝල් ලබාදෙන්න ගියොත් දරුවාගේ අක්මාවට හානිවෙන්න පුළුවන්.”

ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබේ.

Leave a Reply