ඩෙංගු අධි වසංගතයක් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ලබන ජුනි ,ජූලි මාස දෙක ඇතුළත ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එසේ රෝගීන්ගෙන් වැඩිවීමක් ඇතිවුවහොත් එය රෝහල් පද්ධතියට දැරිය නොහැකි තත්ත්වයක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වසරේ මේ දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු මරණ විසිතුනක් (23) වාර්තා වී ඇත.

මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් තුන්සියයත් හාරසියත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගින්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක හතකින් මේ වන විට ඩෙංගු රෝගීන් තිස්පන්දහස් දෙසියඅසූතුනක් (35283) වාර්තා වන අතර ඉන් වැඩිම රෝගීන් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

මැයි මස පළමු වැනි දින සිට මේ දක්වා කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගීන් පන්දහස් පන්සිය හැත්තෑපහක් (5575)ක් වාර්තා වී තිබේ.

එසේම පසුගිය වර්ෂයට වඩා මේ වසරේ ගාල්ල, මාතර, රත්නපුර, පුත්තලම, මහනුවර, ත්‍රිකුණානමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතින් පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සහ පළමු රුධිර පරීක්ෂාවෙන් ඩෙංගු රෝගීන් හඳුනා නොගතහොත් කිහිප වාරයක් රුධිර පරික්ෂණ සිදුකරන ලෙස ද වෛද්‍යවරු දැනුම් දෙයි.

Leave a Reply