ජනතාවට කරන්ට් වදින යෝජනාව කැබිනෙට්ටුවට

නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව සූදානම් කළ පරිදි ම විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (02) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.

මෙහිදී විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 29යි ශත 14ක් වැය වන බව ත් එම ගාස්තුව රුපියල් 48යි ශත 42 දක්වා ඉහළ දැමීමටත් මෙහිදී යෝජනා කිරීමට නියමිතව ඇත.

විශේෂයෙන් මෙහිදී කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව රුපියල් 26ක් දක්වා සීමා කිරීමට යෝජනා කිරීමට නියමිත ය.

එසේ ම, ඒකක 300ට වැඩි සෑම ඒකකයකට ම රුපියල් 20ක්ව පැවැති ගාස්තුව රුපියල් 26ක සීමාවේ පවත්වා ගෙන යාමට මෙහිදී යෝජනා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

තව ද පළමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වා ඉහළ දමා ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහා ම අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600ක සීමාවක පවත්වාගෙන යාමට නියමිත බව සඳහන් වේ.

එසේ ම මෙහිදී පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වා ත් හා ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකකයක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කිරීම‍ට යෝජනා වී ඇති බව ද සඳහන් වේ.

තව ද පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට ත් මෙහිදී යෝජනා කිරීමට නියමිත ය.

ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 100කින්, එනම් රුපියල් 1,600 දක්වා වැඩි කිරීමට යෝජනා කිරීමට නියමිත බව ද සඳහන් වේ.

විශේෂයෙන් පසුගිය කාල සීමාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ආගමික ස්ථානවල විදුලි සංශෝධනය ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතන සඳහා ලබා දී ඇති පළමු ඒකක 30 සඳහා වන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇතැයි සඳහන් වේ.

එසේ ම, ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී ඇත.

එසේ ම, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවැති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් 91ත්, 120ත් අතර කාණ්ඩය යටතේ රුපියල් 20ක් එක ඒකකයකට අය කළ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කොට ඇති බව වාර්තා වේ.

තව ද ඒකක 121ත්, 180ත් අතර රුපියල් 30ක්ව පැවති එක ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා වැඩි කිරීමට යෝජනා කොට ඇත. එසේ ම, ඒකක 180ට වැඩි සෑම ඒකකයකට ම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කිරීමට යෝජනා කොට තිබේ.

තව ද ඒකක 121ත්, 180ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 450ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමටත් 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වා වැඩි කිරීමටත් මෙහිදී යෝජනා වී ඇතැයි සඳහන් වේ.

එසේ ම, ඒකක 31 සිට ඒකක 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ත් ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කිරීමට නියමිතව ඇත.

Leave a Reply