ගුරුවරයෙකුට පහරදුන් ප්‍රසිද්ධ පාසැලක සිසුන් රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසැලක සිසුන් පිරිසක් ගුරුවරයෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකල සිසුන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන අද (24) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නිසි විනයකින් යුතුව පාසැල වෙත පැමිණෙන ලෙස විනයභාර ගුරුවරයා දුන් අවවාදයට කෝපවූ සිසුන් පිරිසක් මෙලෙස ගුරුවරයාට පහරදී ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පුත්තලම ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් සිය විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා ඊයේ (23) පාසැල වෙත පැමිණ තිබුණි.

නමුත්, සිසුන් කිහිප දෙනෙකු පැමිණ තිබුණේ පාසැලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙනය.

විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසැලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට අවවාද කර තිබේ.

පසුව පාසැලෙන් පිටත්ව ගිය සිසුන් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණි.

නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝපවී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනයභාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසීරීමට පටන් ගෙන තිබේ.

පුත්තලම පොලීසිය පවසන්නේ, සිසුන් 25ක් පමණ නිවස ඉදිරිපිට රැස්වී හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවය. 

එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරාදමා තිබේ.

එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයාව සිසුන් කිහිපදෙනකු විසින් අල්ලාගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබුණි. 

පුත්තලම පොලීසිය පැවසුවේ, එක් සිසුවෙක් ගුරුවරයාගේ මුහුණ ට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවය. 

පසුව ප්‍රදේශවාසීන් එක්වී සිසුන්ව එම ස්ථානයෙන් පළවා හැරීමට කටයුතු කළ ඇති අතර එහිදීත් සිසුන් ගුරුවරයාට පහරදීමට උත්සාහ කර තිබේ. 

පහරකෑමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි ගුරුවරයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පහරදීමට සම්බන්ධ සිසුන් 4දෙනෙක් පුත්තලම පොලීසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීමට සෘජුව සම්බන්ධ තවත් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

Leave a Reply