ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරලෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අනතුරට පත්ව සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
 
ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය නොවැම්බර් මස 26 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 05 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගිනිකොණදිග ගැඹුරු මුහුදේ පෙරළීමකට ලක්ව අනතුරක් සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අනතුරට පත් එම ධීවරයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.ඒ අනුව නාවික හමුදාවේ “රණරිසි” නෞකාව මඟින් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු මුදා ගැනීමට කටයුතු කර ඇති අතර අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු සෙවීම සඳහා විශේෂ කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී අනතුරට පත් යාත්‍රාවේ එන්ජින් කාමරයේ සිරවී සිටි එක් ධීවරයෙක් නිරුපද්‍රිතව මුදවා ගෙන ප්‍රතිකාර සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසයි. 

අනතුරුට පත් යාත්‍රාවේ අතුරුදන්ව සිටි අනෙක් ධීවරයා සොයා නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.

Leave a Reply