ගාල්ලේ ATM යන්ත්‍රවලින් මුදල් හොරකම් කල විදේශිකයන් අත් අඩංගුවට

ගාල්ලේ ප්‍රදේශ කිහිපයක රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් කොළඹ සහ කටුනායක ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර විදේශිකයන් බල්ගේරියානු ජාතිකයින් බව පොලිසිය පවසයි.

අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. 

ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපළෙන් පළායාමට උත්සහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. 

අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණ.

ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල පිහිටි බැංකුවල ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඔවුන් සොරකම් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිසිය පවසයි.

ATM යන්ත්‍රවල ඇති පරිගණක මෘදුකාංග පද්ධතිය වෙනස් කරමින් මොවුන් මුදල් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී තිබේ.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply