ගාල්ලේ ඩෙංගු මර්දන සතියක් හෙට සිට

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මදුරු මර්දන සතියක් හෙට 23 දින සිට 27 දින දක්වා ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වේදඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක් වෙමින් පැවැසීය.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 10 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගාල්ල නගර ,අක්මීමන ,බෝපෙ පෝද්දල, අම්බලන්ගොඩ, බද්දේගම ,හබරාදුව, බලපිටිය ,හික්කඩුව ,ඉමදුව සහ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මේ සඳහා තෝරාගෙන ඇත .

මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තෝරාගැනීමේදී විවිධ හේතූන් මත අත්‍යවශ්‍යම කොට්ඨාස තෝරාගැනීම සිදු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඩෙංගු රෝගය මදුරුවන් මගින් බෝවන රෝගයක් බැවින් මෝසම් වැසි සක්‍රීය වීමත් සමඟ මදුරුවන්ගෙ වර්ධනය වීම ඉහළ යෑමෙන් රෝගය වර්ධනය වීමේ හැකියාවක් පවතී.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් 1009 ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණයක්ද වාර්තා වී ඇත.

ඉකුත් වර්ෂයේ (2022) ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම කාලසීමාව තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් 1601 දෙනකු සහ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබූ බැවින් ඉකුත් වර්ෂයට (2022) වඩා මෙම වර්ෂයේ (2023) මෙම කාලසීමාව තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ඇති නමුත් ගත වුණු මාස තුනේ ඩෙංගු රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇත .

මීට පෙර විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මෙන්ම අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ප්‍රජාවද සම්බන්ධ කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන පවත්වා මෙම තත්ත්වය නියාමනය කරගැනීමට හැකිවූ බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවැසීය.

විශාල වශයෙන් මදුරුවන් වර්ධනය වන ස්ථාන ලෙස දැනට සිදු කර ඇති නිරීක්ෂණ අනුව ධීවර වරාය පරිශ්‍ර,අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන ,වැඩබිම්, පාසල් පරිශ්‍ර,ආගමික ස්ථාන ,රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආදිය හදුනා ගෙන ඇත,

ඩෙංගු මදුරුවන් පාලනය කිරීම සඳහා වඩාත්ම සුදුසු මදුරුවන්ගෙ කීට අවස්ථාව බැවින් පිරිසුදු ජලය එක් රැස් වෙන සියලුම ස්ථාන ගෙවතු පරිශ්‍රයන්,පිරිසිදු කිරීම සිදුකළ යුතු බවත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයක් තුළ ම ඩෙංගු කමිටු ශක්තිමත් කරමින් කැළි කසළ එක් රැස් වෙන ස්ථාන පිරිසිදු කරමින් ඩෙංගු උවදුර තත්ත්වය පාලනය කළ යුතුය .

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ එහි අවදානම ගාල්ල දිස්ත්‍රික්කයටද බලපෑ හැකි බවත් එයට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් මේ වනවිට සකස්කොට ඇති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply