ගරා යක්ෂයාගේ අවතාරය සැරිසරන ගරාගල (රූමස්සල විත්ති 07)

රූමස්සල කඳුවැටියට පහළින් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇත්තේ කඩවත ගංගාවයි. කඩවත ගංගාව මුහුදට වැටෙන මෝයකට ආසන්නයේ දක්නට ඇත්තේ විශාල ගල් පර්වතයකි. මෙම ගල් පර්වතය අද වන විට විශාල ගසකින් වැසී තිබේ. මෙම ගල් පර්වතය අන් ගල් පර්වතවලට වඩා සුවිශේෂී වූවකි. 

රූමස්සල පැරැන්නන් ඈත අතීතයේ සිටම මෙම ගල් පර්වතය හඳුන්වන්නේ ගරාගල යන නමිනි. 

මෙම ගල් පර්වතයේ ඉහළ කොටස නයි පෙණයක හැඩයෙන් පහළට නැමී ඇත. එහි කිහිපදෙනකුට නොපෙනී සිටිය හැකි ඉඩක් දක්නට ලැබේ. ගරා යක්ෂයා මෙම ගල් පර්වතය අසල වාසයකොට ඇති බව රූමස්සල පැරැන්නෝ පැවසු බව එහි ප්‍රදේශවාසීන් පැවසිය..

මේ ස්ථානය හරි අද්භූත තැනක් බවත් මාළු, මස් වැනි පිළී වර්ග මෙම ස්ථානය පසුකර ගෙනයෑමට ඉඩ නොදි ගල් පර්වතය ළඟ සිටි කිසිවෙකු විසින්  ඒවා අරගෙන තියෙන බවත් මේ හේතුවෙන් රූමස්සල ගමේ අය බියවි මෙහි නොයන බවද ප්‍රදේශවාසීන් පැවසීය.. 


ගරාගල ජනප්‍රවාදය අනුව එක් දිනෙක යාගයට ගිය බෙර වාදකයෙක් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිට ඇත පසුව ගරා යක්ෂයා බෙරකරුට කතා කර තමන්ට නැටීම සඳහා බෙරය වාදනය කරන ලෙස බෙරකරුට අණ කර තිබේ. බෙරකරු බෙරය වාදනය කළ අතර ගරා යක්ෂයා බෙර පදයට නැටුවේය. දිනපතා හවසට පැමිණ තමන්ට නැටීම සඳහා බෙරය වාදනය කරන ලෙස ගරා යක්ෂයා බෙරකරුට අණ කළේය. මේ නිසා තමන්ට බලි තොවිල්වල යෑමට නොහැකිවීමෙන් දරු පවුලේ බඩවියත සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ නිසා දරු පවුල කුසගින්නේ සිටින බවද බෙරකරු ගරා යක්ෂයාට පවසා තිබේ. බෙරකරුගේ මේ කතාව අසාගෙන සිටි ගරා යක්ෂයා මේ වැල්ලෙන් වැලි ගෝනියක් නිවෙසට රැගෙන යන ලෙස බෙරකරුට අණ කිරිමත් සමග බෙරකරු වැලි ගෝනිය රැගෙන නිවෙසට ගියේය. 

එම වැලි ගෝනිය සහල් ගෝනියක් බවට පත්ව තිබිණි. පසුව එක් දිනක් බෙරකරු බෙරය වාදනය කරමින් සිටියදී වර්ෂාවක් කඩා හැලෙන්නට විය. මේ නිසා බෙරය තෙමෙන බව බෙරකරු ගරා යක්ෂයාට කීවේය. පසුව ගරා යක්‍ෂයා ගල්පොත්තේ ඉහළ කොටස නයි පෙණයක් ආකාරයෙන් නැව්වේය. ඉන්පසු බෙරකරු නයි පෙණය තුළ ගොස් බෙරය වාදනය කළ බව එහි සදහන්ය 
මේ ස්ථානයෙන් ගමන්ගත් ධීවරයන්ට පසුකාලීනව රාත්‍රි කාලයේදී මේ ගල් පර්වතය තුළින් නික්මෙන බෙර හඬ ඇසී තියෙන බවත් ධීවරයන් මෙම ස්ථානයෙන් යෑමට බියවි ඇති බවද ප්‍රදේශවාසීන් පැවසිය. 

ගරා යක්ෂයාගේ අවතාරය තවමත් මේ ස්ථානයේ ඉන්න බවට අදටත් විශ්වාසයක් තියෙන බවද ප්‍රදේශයේ මතයක් පවතී.
ගරා යක්ෂයාගේ අවතාරය සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදවල ඇත්ත නැත්‍ත කුමක් වුවත් ඉර බැස යන ගොම්මන් යාමයේ මෙම ස්ථානයේ සංචාරයක නිරතවු අපටද එහි පරිසරයේ නිහැඬියාව සමග ගුප්ත බවක අත්දැකීම් විඳගන්නට හැකිවිය 

✍️ ෆර්හාන් නිසාම්දින් 


නයි පෙනයක හැඩයගත් ගල
ගරා ගල පිහිටි ස්ථානය

ගොම්මන් යාමයේ ගරාගල අසල පරිසරය 

Leave a Reply