කොස්මෝදර නිවෙසකට පැන්න හොරෙක් වියළි ආහාර පමණක් අරන් ගිහින්

කොස්මෝදර පොලිස් වසමේ කොටපොල, හීගස්ගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු මුළුතැන්ගෙයි තිබූ හාල්, පරිප්පු, සීනි ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන ගොස් ඇති බවට පොලිසිය පවසයි.

කොටපොල, කොස්මෝදර, හීගස්ගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු නිවෙසේ මුළුතැන්ගෙයි තිබූ හාල් කිලෝ 05ක්, පරිප්පු ග්‍රෑම් 500ක්, සීනි ග්‍රෑම් 500ක්, කරවල ග්‍රෑම් 500ක්, බීලූනු කිලෝ 01ක්, තේ කොළ, මිරිස්, තුනපහ හා පාවිච්චි කරන ලද කිරිපිටි පැකැට් එකක් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවට නිවෙස හිමි කාන්තාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

නිවැසියන් අසල්වැසි නිවෙසක පැවැති දරුවකුට බත්දීමේ උත්සවයකට සහභාගි වී සිටි අවස්ථාවේ මෙම සොරකම සිදුව ඇති බවටත් පසුදා උදේ නිවෙසට පැමිණ බැලීමේදී මුළුතැන්ගෙයි තිබූ වියළි ආහාර ද්‍රව්‍ය නොමැති බටට කාන්තාව පොලිසියට පවසා ඇත. රෙදි වළල්ලකද ආධාරයෙන් කණුවක නැඟී ඉහළ මහලට ගොස් ජනේලයක යකඩ ගී්‍රල් එකක් ගලවා නිවෙසට ඇතුළු වී පහළ මහලයේ කුස්සියේ තිබූ ආහාර ද්‍රව්‍ය‍ සොරකම් කර රැගෙන ගොස් ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවට පොලිසිය පවසයි.

කුස්සියේ තිබූ තාච්චියකට ආහාර ද්‍රව්‍ය දමා රැගෙන ගොස් ඇති බවටත් නිවසේ තිබූ වෙනත් කිසිවක් නිවෙසට ඇතුළු වූ පුද්ගලයා සොරකම් කර නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මුළුතැන්ගෙට ඇතුළු වූ පුද්ගලයා ආහාර ද්‍රව්‍ය සොරකම් කර පිටුපස ‍දොරෙන් පිටව ගොස් ඇති බවටත් පිටව යන අවස්ථාවේ ‍දොර වසා දමා ගොස් තිබූ බවද කාන්තාව වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.

නිවෙසේ මුළුතැන්ගෙයි තිබූ වියළි ආහාර ද්‍රව්‍ය  සොරකම් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන කරන බවට කොස්මෝදර පොලිසිය පවසයි.

Leave a Reply