කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රජය යළිත් ඇරඹීමට යයි

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙි.

ඒ සදහා විකල්ප යෝජනා ලබාගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇත.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණි.

රාජ්‍ය සේවකයන් දහස් ගණනක්  කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණි.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනය විසිනි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණි.

නමුත් ඉකුත් සමයේදී රට මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරිණි.

මෙවන් පසුබිමක එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙසිනි.

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

Leave a Reply