කටාරයේ කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවි ශ්‍රි ලාංකීයයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදහන්

කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ ඊයේ (23) සිව් මහල් ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් ශ්‍රි ලාංකිකයෙකු මියගොස් තවත් ශ්‍රි ලාංකිකයෙකු අතුරුදන්වී තිබේ.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන අතර අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව, කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිළධාරීන්ට දැනුම් දී ඇත.

මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව සඳහන් ය.

මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයාබැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් සිටී.

කඩාවැටුනූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයින් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනෙකු මේ වනවිට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.  

Leave a Reply