උසස් පෙළ විභාගයට පියා සමග යමින් සිටි සිසුවියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පොවන්න හදලා

කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටිමට පියා සමග ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයෙක් පරගම්මන ප්‍රදේශයේදී යතුරුපැදියක් හරස් කර ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පාසල් ශිෂ්‍යාව, සැකකාර තරුණයා හා පාසල් ශිෂ්‍යාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඊයේ (23) දහවල් ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ දහවල් පියාට අයත් ත්‍රිරෝද රථයෙන් පියා සමග යමින් සිට ඇති අතර පරගම්මන පසුකර බටවංගුව ප්‍රදේශයේදී ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයෙක් මිතුරෙකු සමග යතුරුපැදියකින් පැමිණ ත්‍රිරෝද රථය නවතා රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවීමට උත්සාහ දරන අවස්ථාවේදී පියා ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයා වෙත එල්ල කර ඇති බව සිදු කළ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාවටත් ඇගේ පියාට හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ. පසුව පාසල් ශිෂ්‍යාවගේ පියා සිය දියණිය ත්‍රිරෝද රථයෙන් කෑගල්ල මහ රෝහලට රැගෙන පැමිණ ඇති අතර තරුණයා ද කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණයා සහ පාසල් සිසුවිය අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබි ඇති බවද පොලිසිය පවසයි.

ශිෂ්‍යාව, තරුණයා හා පාසල් ශිෂ්‍යාවගේ පියා කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply