ඉන්දීය බිහිසුණු දුම්රිය අනතුරට හේතුව හෙලිවෙයි

ලොවම කම්පා කරවූ ඉන්දීයාවේ සිදුවු බිහිසුණු දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා උපුටා දක්වමින් අදාළ වාර්තා පෙන්වා දෙන්නේ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවය.

එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවය.

පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 300ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම දුම්රිය අනතුර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000ඉක්මවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply