ඉන්දීය නගරයක් ගිලා බැසීමට පටන් ගනී

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ජෝෂිමාත් නමැති කුඩා නගරය ගිලා බැසීමට පටන්ගෙන ඇති හෙයින් නගර වැසියන් එම නගරයෙන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුහුදු මට්ටමේ සිට අඩි 1,899 ක් ඉහළින් පිහිටි ජෝෂිමාත් යනු හිමාල අඩවියට නන්දෙසින් පැමිණෙන හින්දු සහ ශීක් වන්දනාකරුවන් අතරේ ජනප්‍රිය කුඩා නගරයකි.

මෙම නගරයේ නිවාස 600 කට වැඩි ගණනක සහ ගොඩනැගිලිවල දහසකට ආසන්න ගණනක දරුණු ලෙස ඉරි තැලීම් දකින්න ලැබෙන බවත් නගරයට දිවෙන සියලු මාර්ග ඉරි තැලීම්වලට ලක් වී අබලන් තත්ත්වයේ තිබෙන බව බලධාරීන් උපුටා දක්වමින් එහි සදහන්ය

නගරය ගිලා බැසීම ආරම්භ වී ඇතැයි සැලවුණු වහාම ඉන්දීය ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශසීමා ආරක්ෂක සෙබළුන් නගරයට යැවූ බව ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කර තිබේ.

ජෝෂිමාත් නගරයේ ජනගහනය 25,000 පමණ වන අතර නිවාස සහ ගොඩනැගිලිවලින් ඉවත් කෙරුණු පිරිස ප්‍රජාශාලා, පාසල් සහ හෝටල්වල රැඳී සිටින බව වාර්තා වේ.

ජෝෂිමාත් නගරය ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 490 ක් දුරිනි. ඉන්දීය හමුදාවේ විශාල හමුදා කඳවුරක් ද ජෝෂිමාත් නගරය ආසන්නයේ පිහිටා ඇත.

චීන දේශසීමාව ආසන්නයේ ජෝෂිමාත් නගරය අයත් පළාත මායිම්ව පිහිටා තිබේ.

Leave a Reply