ඉන්දියාවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදයක් පැතිර යයි

කොවිඩ් වෛරසයට සමාන උණ, හෙම්බිරිස්සා ලක්ෂණ ඇති වෛරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්ය.

තම රටේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට අයත් H3N2 උප ප්‍රභේදය බව ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) ප්‍රකාශ කර තිබේ.

සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේද මෙන් නොව, H3N2 වෛරස ප්‍රභේදය දරුණු බවත් H3N2 වෛරස ආසාදනය වන වැඩි පිරිසකට ස්වසන ආබාධ ඇති වන බැවින් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත් එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

වෛරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවීමත් සමඟ මෙම වෛරසය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කර තිබේ.

තද උණ, හිසරදය සහ කල්පවතින කැස්සට අමතරව, පාචනව, සිරුරේ වේදනාව, උගුරේ ආසාදන, වමනය, කැරකිල්ල සෙසු රෝග ලක්ෂණ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ.

නිතර දෑතක් පිරිසුදුව තබා ගැනීම, ඇස්, නාසය හෝ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම, කොවිඩ් සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීමට හුරුවීම වැනි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.

Leave a Reply