ආර්ථික අර්බුදය හමුවේ තේ පානය අඩු කරන ලෙස පාකිස්තානය එරට ජනතාවගෙන් ඉල්ලයි.

තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවගෙන් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

ලොව විශාලතම තේ ආනයනකරුවකු ලෙස පාකිස්තානය සැලකෙයි. පසුගිය 2021 වසරේ පමණක්, පාකිස්තාන රජය ඩොලර් මිලියන 600 කට වඩා වැඩි මුදලක් තේ මිලදී ගැනීම සඳහා වැය කර ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කරයි.

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබෙන බවද එහි සදහන්ය.

විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සඳහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත්, එම විදෙස් සංචිත යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් පාකිස්තාන රජය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තනයේ ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක් පවතින අතර, ඒවායේ මිල වේගයෙන් ඉහළ යමින් පවතින්නේ ජනතාව නොසන්සුන් කරමිණි.

Leave a Reply