අලුත් අවුරුද්දෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් නවතී

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවලංගු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. 

සාමාන්‍ය ගාස්තු මත දිවෙන බස් රථවලත් අර්ධ සුඛෝපභෝගී බස් රථවලත් වෙනසක් නොමැති බව නිරීක්ෂණය වීම නිසා මෙ තීන්දුව ගත් බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කර තිබේ.

මෙරට පොදු ප්‍රවාහන සේවා බස් රථ සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභොගී යන ඛාණ්ඩ යටතේ ධාවනය වේ. 

අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා අය සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන අතර සුඛෝපභෝගී බස් රථ සඳහා අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් අය කෙරේ. 

අර්ධ සුඛෝපභෝගී බස් රථවලට ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරවීම අනිවාර්යය. එසේ වුවත් අර්ධ සුඛෝපභෝගී කාණ්ඩ යටතේ ධාවනය වන ලංගම මෙන්ම පුද්ගලික බස් රථ වැඩිපුර ගාස්තුද අය කරමින් බස් රථයේ ආසන ගණනට දෙතුන් ගුණයකට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කරන බවට නිරීක්ෂණය වී තිබේ. 

මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවද යෝජනා කර ඇත්තේ මගීන්ට සෙතක් නොලැබෙන අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කළ යුතු බවටය. 

එමෙන්ම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බස් සංගම්වලටද අවධාරණය කර ඇත්තේ දැනට අර්ධ සුඛෝපභෝගී ලෙස ධාවනය කරන බස් රථ වායු සමීකරණ බස් රථ ලෙසට හෝ සාමාන්‍ය සේවා වශයෙන් මාරු කරගන්නා ලෙසය. 

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනය වන බස් රථ 4300ක් අතරින් දහසකට වැඩි සංඛ්‍යාවක් දුරගමන් සේවා බස් රථ වේ. මේ අතරින් බස් රථ සුළු ප්‍රමාණයක් පමණක් අර්ධ සුඛෝපභෝගී සේවා ලෙස ධාවනය කළ බවත් එම බස් රථද එම ඛාණ්ඩයෙන් ඉවත් කරන බවත් ලංකා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස පැවසීය. 

Leave a Reply