අප තව දුරටත් බංකොලොත් රාජ්‍යයක් නෙවෙයි – ජනාධිපති

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.

නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply