සුනාමියට වසර 18යි ප්‍රධාන සැමරුම ගාල්ල පැරෑලියදී

සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇති අතර එහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී හෙට (26) උදෑසන පැවැත්වීමට නියමිතය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්වරයා, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, මෙන්ම සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

සුනාමි ව්‍යසනයට හසුව හානි වූ අංක 50 දරණ දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේදී පැරෑලිය වෙත පැමිණෙන අතර සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් පිරිසක් ද එම දුම්රියෙන් පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වීමට නියමිතය

එසේම හෙට පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.

සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 කට දැඩි හානි සිදුවූ අතර ඉන් මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වන අතර තවත් 5000 ක පමණ ඉන් අතුරුදන් විය.

Leave a Reply