පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ගුරුවරුන්ට පුහුණුව

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමග අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත් එම කරුනු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවද බොහෝ පිරිස් විසින් අමාත්‍යාංශයේ අවදානයට යොමු කරනු ලැබ තිබේ.

එම කරුණු සිසුන්ට ඉගැන්වීමට බොහෝ ගුරුවරුන් මැළිකමක් දක්වන බවත් ඊට හේතුව ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොලැබීම බවත් අමාත්‍යාංශයට ද පෙනී ගොස් ඇත.

ඇතැම් පිරිස් යෝජනා කර ඇත්තේ උසස් පෙළ විද්‍යා අංශයේ උගන්වන ගුරුවරුන් පහළ ශ්‍රේණිවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වඩා යෝග්‍ය බවය.

එහෙත් අමාත්‍යාංශයේ අදහස වන්නේ උසස් පෙළ විෂය නිර්දේශ අනුව එලෙස අමතර ශ්‍රේණිවලට ඉගැන්වීමට එම ගුරුවරුන් යෙදවීම ප්‍රායෝගික නොවන බවය.

ඉහත තීරණය ගෙන ඇත්තේ මෙම කරුණ ද සලකා බලමිනි.

Leave a Reply