සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීති විෂය ඇතුළත් කළ යුතු බවට යෝජනාවක්

මෙරට සාමාන්‍ය නීතිය පිළිබඳව මහජනතාව තුළ පවතින අල්ප දැනුම හේතුවෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් එම ජනතාවගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා බව අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ‘නීති විෂය’ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කිරීමටත් ඊට අමතරව සාමාන්‍ය ජනතාව මෙන්ම තරුණ තරුණියන් ඉලක්ක කරගෙන නීති දැනුම පිළිබඳව වැඩ සටහන් දියත් කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී වින්දිතයා හා සාක්ෂිකරුවාගේ ආරක්ෂාව අතිශයින් වැදගත් වන බවත් නීතියේ ආධිපත්‍යය නොමැති රටක් තුළ කිසිවකුගේ ජීවිතයක සුරක්ෂිත බවක් පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවද ඔහු පැවැසීය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා නොකළහොත් නිවැරදි නඩු තීන්දු නොලැබෙන බවද ඔහු පැවැසීය.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ හා සහායවීමේ දිනය වෙනුවෙන් බත්තරමුල්ල පැලවත්ත විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ ඊයේ (7) පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටේ ස්වාමිපුරුෂයාගෙන් බිරිය ආරක්ෂා කිරීමටත් පියාගෙන් දරුවන් ආරක්ෂා කිරීමටත් නීති සකස් කිරීමට සිදුවීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply