විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පැවසීය.
“පසුගිය මාස 03 ඇතුළත 2022 විදුලි ඉල්ලුම සාපේක්ෂව විදුලි ඉල්ලුම 22%කින් පමණ අඩු වෙලා. ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 375 ඉඳන් දැන් 335 වෙනකන් ඩොලරය අවප්‍රමාණය වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල හා ගල් අඟුරු මිල පහළට. විදුලිය නිපදවීමට අපි භාවිත කරන ප්‍රභවයන්ගේ මිල අඩු වුණාම. අඩු වුණ එකේ ප්‍රතිලාභය විදුලි බිල සඳහා අනිවාර්යෙන්ම ඉක්මනින්ම ලබා දිය යුතුයි. ඒ අනුව, විදුලි බිල අපි දන්නවා පෙබරවාරි මාසයේ 60% කින් වැඩි වුණා. එම ප්‍රමාණය 30% කින් අඩු කළ යුතුයි කියන පදනමකින් තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. ඒ අනුව අපි මාර්තු 30 වනදා විදුලි බල මණ්ඩලයේ සභාපතිට විශේෂ ලිපියක් යැව්වා විදුලි බිල අඩුවීමේ යෝජනාව ඉක්මනින් එවිය යුතුයි කියලා.”
ඊට අදාළ ලිපිය විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇති බව ඔහු අද (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.