වැඩ කරන අම්මලාට තම දරුවාට මව්කිරි දෙන්න පැය දෙකක්

රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන දරු ප්‍රසුතිය සිදුකළ මවකට තම දරුවාට කිරි ලබාදීම සඳහා එක් පැයක් නොව කිරි පැය දෙකක් හිමිවන බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එමි.වයි.තුෂාරි පැවසුවාය.

වැඩට යන දෙමාපියන්ට සහනදායි වෙනසක් මවුකිරි දෙන්න සවියක් යන තේමාවෙන් ලෝක මවුකිරි දීමේ දිනයට සමගාමීව ඊයේ [ 19 ] පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණ. එහිදී ඇය මෙලස කියා සිටියාය.

මෙලස කිරි පැය දෙකක් හිමිවන බව බොහෝ දෙනා නොදැන සිටි කරුණක් බවත් එලස පැය දෙකක කාලයක් හිමිවී තිබුණේ 2018 වසරේ සිදුකළ සංශෝධනයක ප්‍රතිඵලයක් ලෙසින් බවත් ඇය කියා සිටියාය.

ඒ අනුව අදාළ මවගේ සේවා කාලය තුළ ඕනෑම පැය දෙකක් දරුවාට කිරි දීම සඳහා යාමට ඉඩ ලබාදීමට සේවා යෝජකයා බැඳී සිටී.

උදෑසන රාජකාරිය ආරම්භ වන වෙලාවට පැයක් පසුව සහ රාජකාරි අවසන් වන වෙලාව ට පැයක් පෙර මෙලස කිරි ලබාදීමේ පැය දෙක ලබාගැනීමට හැකිය.

එසේත් නොමැතිනම් අදාළ මව කැමති ඕනෑම වේලාවන් දෙකක දරුවාට කිරි ලබාදිය හැකිය. එමෙන්ම අදාළ මව සේවය කරන ස්ථානයේම දරුවා සිටී නම් එම දරුවාට කිරි ලබාදීම සඳහා සේවා කාලය තුළ ඕනෑම වෙලාවක පැය භාගය බැගින් දෙවරක් හිමි වේ.

2018 ජුනි 18 වැනිදා සිට මෙලස දරුවන්ට කිරි ලබාදීමට පැය දෙකක කාලයක් ලබාගත හැකි පරිදි කම්කරු නීතින් සංශෝධනය වී තිබුණද ඒ පිළිබඳව කිසිවකු හරිහැටි දැනුවත් වී නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් වරිය පවසා සිටියාය. ඇය පවසා සිටියේ එම අයිතිය ලබාගැනීමට සියලුම මවුවරුන් කටයුතු කළ යුතු බවය.

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඇය පැවසුවේ මින් පෙර නීති සකස්ව තිබුණේ පළමු සහ දෙවැනි දරු ප්‍රසුති දෙක සඳහා පමණක් සති 12 ක එනම් දින 84ක නිවාඩු ලබාදීම පමණක් වුවත් 2018 වසරේදී සිදුකළ සංශෝධනයෙන් අදාළ මවට ඕනෑම දරු උපතකදී ඇයට ලබාදෙන නිවාඩු දින 84 ලබාගත හැකිය.

ඒ පිළිබඳවද බොහෝ දෙනා දැනුවත් නොමැති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ලෝක මවුකිරි දීමේ සතිය 2023 අගෝස්තු 01 සිට 07 දක්වා යෙදී ඇත. ඊට සමගාමීව ලබන අගෝස්තු මාසය ජාතික මවුකිරි දීමේ මාසය ලෙස නම් කර ඇත.

Leave a Reply