වයෝවෘද්ධ කාන්තාවට අතවර කල තරුණයෙකුට වසර 20ක සිරදඬුවම් – තීන්දුව එද්දී කාන්තාව මියගිහින්

ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවෙසකට පැන 82 හැවිරිදි විවාහක කාන්තාවක් බලහත්කාරයෙන් දූෂණය කළේ යැයි වරදකරු වු විත්තිකරුවෙකුට වසර විස්සක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 25000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පෙරේදා (09) නියෝග කළේය.

මෙසේ සිර දඬුවම් හා දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ ඌරගස් මංහන්දිය කුඩා ඌරගහ වාඩියවත්ත පදිංචි විත්තිකරුවෙකුටය.

නියෝගය ලැබෙන විට විත්තිකරුගෙන් ලිංගික අපරාධයට ලක් වූ 82 හැවිරිදි කාන්තාව මිය ගොස් වසර තුනක් ඉක්ම ගොස් තිබෙන බවද මහාධිකරණයේ දී අනාවරණය විය.

2012 පෙබරවාරි 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී විත්තිකරු ඌරගස්මංහන්දිය රන්තොටුවිල පදිංචි මෙම ගෙහිමි කාන්තාව පමණක් නිවසේ රැඳී සිටිය දී නිවෙසට පැන ඇය බලහත්කාරයෙන් දූෂණය කොට ඇතැයි කියමින් ඌරගස්මංහන්දිය පොලිසිය විසිඅට හැවිරිදි විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණ.

වසර 11 ක දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම කාන්තාව විත්තිකරු අතින් දූෂණය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් හා ලැබූ සාක්ෂි මගින් සැකයකින් තොරව ඔප්පුවී යැයි තීරණය කළ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 25000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිර දඬුවමක් ලබා දෙන ලෙසත් නියෝග කළේය.

ලංකාදීප

Leave a Reply