රුපියල් කෝටියක අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි සැකකරුවෙකි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයසියයක් පොලිස් භාරයට ගෙන තිබේ.

රත්මලාන මහින්දාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් පුද්ගලයෙකුට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලබාදීම සඳහා ධර්මාරාම ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඇඳක මෙට්ටයක් තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply