රටින් ගෙනවා නම් බිත්තරය රුපියල් 25ට දෙන්න පුළුවන්

ආනයනය කර බිත්තරයක් රුපියල් 25කට ලබාදිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් බිත්තර ආනයනය කර එසේ ලබාදීමට හැකියාව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ වෙළෙඳපොළ තුළ බිත්තර හිඟයක් ඇති වී තිබෙන නිසා බවත් බිත්තර හිඟයක් ඇති වී ඇත්තේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදන සමාගම් කෘත්‍රිමව බිත්තර හිඟයක් නිර්මාණය කිරීම නිසා බවද හෙතෙම පැවැසීය.

අමුද්‍රව්‍ය ඇතුළු බිත්තර නිෂ්පාදන වියදම වැඩිවීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් පිරිසක් බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වී ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළ අතර මහා පරිමාණ බිත්තර නිෂ්පාදන සමාගම්වලට බිත්තර නිෂ්පාදන වියදම වැඩි වීම බලපා නොමැති බවද ඔවුන් මේ වනවිට බිත්තර අලෙවියෙන් මහා පරිමාණ ලාභ ලබමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කේක් ඇතුළු බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ලබාගැනීමට වෙළෙඳපොළ තුළ නොමැති බවද මේ වනවිට බිත්තර සපයන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට 50ක ප්‍රමාණයක් බවද බිත්තර මිලදී ගැනීමට නොමැතිවීම මත සුළු, මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකයන් කේක් ඇතුළු බිත්තර අවශ්‍ය වන බේකරි නිෂ්පාදනයන් නවතා ඇති බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය. බිත්තර හිඟය සහ බිත්තර මිල අඩු කිරීමට බිත්තර ආනයනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මව්බිම

Leave a Reply