යාපනයේ කෝවිලක සිටි නාගයෙකු හොරු අරන්

යාපනයේ මුරුසවිල් තවසිකුලම් කන්නායි අම්මන් කෝවිල් භූමියේ කාලයක් තිස්සේ සිටි විශාල නාගයකු පෙරේදා (18) කිසියම් පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම නාගයා කෝවිලේ ගසක් යට වසර අටකටත් වඩා වැඩි කාලයක සිට ජීවත් වන බවත් නාගයා හදිසියේම අතුරුදන් වී ඇත.

පසුව කෝවිලේ භාරකාර පූජකයා අවට නිවාසවල CCTV කැමරා පරික්ෂා කිරීමේදී රාත්‍රි කාලයේ එම කෝවිල් භූමියට පැමිණි පුද්ගලයකු නාගයා පැහැරගෙන පෙට්ටියක දමාගෙන පලා ගිය ආකාරය දකින්නට ලැබුණු බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම නාගයාට කෝවිලේ සේවකයන් දිනපතාම පාහේ කෝවිලට ලැබෙන එළකිරි දීමට පුරුදුව සිටීම නිසා නාගයා මිනිසුන්ට හිලෑකමකින් සිටි බවද කෝවිලේ භාරකාර පූජකවරයා ප්‍රකාශ කර තිබේ.

රාත්‍රි කාලයේදී මෙම නාගයා පැහැර ගැනීමට පෙර සවස් කාලයේදී කෝවිල් භූමියට පැමිණි එක් පුද්ගලයකු රිළවකු නටවමින් කෝවිල් භූමියේ රැඳී සිටි බවත් නාගයා පැහැරගෙන යෑමේ ආරක්ෂිත කැමරාවල දැක්වෙන්නේ ඒ පුද්ගලයාට සමාන පුද්ගලයකු බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

යාපනය මුරුසවිල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply