යලි සුළි කුණාටුවක් ගැන අනතුරු ඇගවීමක්

නිරිතදිග දකුණු ඉන්දියන් සාගරයේ ‘ෆාබියෙන්’ නිවර්තන සුළි කුණාටුව අද (17) දින අලුයම 02.30 වනවිට 8.3S, 74.0E ආසන්නයේ කේන්ද්‍රගතව පිහිටා තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එය බටහිරට බරව නිරිත දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව අනාවැකි පලකර තිබේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දකුණු අක්ෂාංශ 07 ත් 11 ත් සහ නැගෙනහිර දේශාංශ 70 සහ 76 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් (80-120) පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර (150-160) පමණ දක්වා වැඩිවිය හැකි බව එහි සදහන්ය.

දකුණු අක්ෂාංශ 06 – 13 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 70-76 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Leave a Reply