යතුරුපැදි 9ක් හා ත්‍රිරෝද රථයක් ඉස්සු දෙදෙනෙකු අල්ලයි

පැහැරගනු ලබන යතුරුපැදි හා ත්‍රිරෝද රථ Facebook ඔස්සේ දැන්වීම් දමා විකුණනු ලබන සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් දෙදෙනකු යතුරුපැදි 09ක් හා ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

රාත්‍රි සංගීත සන්දර්ශන බැලීම සඳහා පැමිණෙන පුද්ගලයන් සතු යතුරුපැදි මෙම කල්ලිය සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

පැහැර ගනු ලබන යතුරුපැදිවල චැසි අංක, එන්ජින් අංක හා ලියාපදිංචි අංක තහඩු ඉතා සක්ෂම අයුරින් වෙනස් කර ඒ වෙනුවට භාවිතයෙන් ඉවත් කර තිබෙන යතුරුපැදිවල අංක යොදා ගනිමින් මෙම ජාවාරම කර තිබේ.

අංක වෙනස් කරනු ලැබූ යතුරුපැදි ව්‍යාජව සකස් කරනු ලබන Facebook පිටුවක් හරහා අලෙවි කිරීම කර ඇත. රාගම පොලිසියට ලද පැමිණිල්ලක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළ නිලධාරීන් උපාය දූතයන් යොදවා සැකකරුවන් දෙදෙනකු රාගම හා මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් සොරා ගනු ලැබූ යතුරුපැදි 09ක් හා ත්‍රිරෝද රථය පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 04දා වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි මස 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply