යතුරුපැදිය ගවයින්ගේ ඇඟේ ගැටීමෙන් තරුණයෙකු මරුට

කිලිනොච්චිය පුලියම්පොක්කනෙයි ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ගවරංචුවක ගැටීමෙන් අද (09) අලුයම සිදුවූ අනතුරකදි එක් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

පුලියම්පොක්කනෙයි මංසන්ධිය ප්‍රදේශයේදී අදාළ තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවරංචුවක යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුපස පැමිණි තරුණයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහලට ඇතුලත් කර තිබේ

මේ අතර යතුරුපැදියේ අධික වේගය හේතුවෙන් යතුරුපැදියේ ගැටුනු ගවයින් දෙදෙනෙකුද එම ස්ථානයේ මිය ගොස් ඇති අතර තවත් ගවයින් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇතැයිද අනාවරණය වෙයි.

අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Leave a Reply