මියන්මාරය ලෙයින් තෙත් වෙයි

මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම බිහිසුණු ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස අතර කාන්තාවන් ඇතුළු කුඩා ළමුන්ද වන බව එම වාර්තා සඳහන් කළේය.

හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ජනාකීර්ණ ගම්මානයකට මෙම ගුවන් ප්‍රහාරය ඊයේ (12) එල්ල වී තිබේ.

කැරලිකරුවන්ට එරෙහිව මෙම ප්‍රහාර මාලාව දියත් කළ බව මියන්මාර පාලක හමුදා ජුන්ටාව ප්‍රකාශ කර තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

මෙම ප්‍රහාරයෙන් පසු සුන්බුන් අතර ඉතා විශාල පිරිසකගේ මළ සිරුරු තිබෙන ආකාරයේ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී

මෙය ජාත්‍යන්තර නීති රීති නොසලකා හැරීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසා ඇත

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

මියන්මාර සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා ගැනීමෙන් පසු හමුදා පාලනයට විරුද්ධවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් යොදා ගන්නා බවය. 

Leave a Reply