මිනී අළු එකතු වෙන්න තබන යකඩ ට්‍රේ එකත් උස්සලා

කැලණිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි වනවාසල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ මිනී අළු එකතු වීමට තබන යකඩ ට්‍රේ එක එම ස්ථානයෙන් අතුරුදන් වීම නිසා එම ආදාහනාගාරයට මෘතදේහය රැගෙන පැමිණෙන ඥාතීන්ට අමතර රුපියල් දසදහසක් පමණ මල් ශාලාවට ගෙවා හුණුපිටිය කනත්තට රැගෙන යෑමට සිදුවී ඇතැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි තිලක් වීරසිංහ මහතා ප්‍රාදේශීය සභාවේ මහ සභා වාරය පැවැති අවස්ථාවේදී පැවැසීය.

මෙම මිනී අළු රැස්වන බඳුන දිග අඩි හයක් සහ පළලින් අඩි දෙකහමාරක් පමණ වන යකඩ බඳුනක් බවත් මෙයට එක්රැස්වන මියගිය ඥාතියාගේ භස්මාවශේෂ පසුදින පැමිණ පවුලේ ඥාතීන් විසින් රැගෙන ගොස් මිහිදන් කරන බවත් අළු බඳුන නොමැති වීම නිසා එම ආදාහනාගාරයට මෘතදේහ රැගෙන නොඒම හේතුවෙන් සභාවට ආදායම අහිමි වී ඇති බවත් තිලක් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව පිළිබඳව  තමන් දන්නා බවත් ඒ පිළිබඳව පෑලියගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බවත් සභාපතිනි ශාන්ති කුමුදුනී මෙනවිය පිළිතුරු දෙමින් පැවැසුවාය. මෙවැනි සිදුවීම් නිසා සභාවේ ගෞරවයට හානි වන අතර ඥාතියකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී  සිත් වේදනාවෙන් පසුවන පවුලේ පිරිස මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසා යළි යළිත් අසරණභාවයට පත්වන්නේ යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

මව්බිම

Leave a Reply