මැදපෙරදිග රටවලට රැකියා සදහා යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් අද (15) සිට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව එම රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් ලැබෙන මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත් සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ

හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ.

මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද රක්ෂණ වන්දි හිමිවේ

යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.

මෙම විදේශ රක්ෂණ යෝජනා ක්‍රමය 2023 ජනවාරි 15 දින සිට අනිවාර්ය කරනු ලැබ ඇත්තේ ඉහතින් සඳහන් කර ඇති මැදපෙරදිග පිහිටි රටවල් සඳහා නව සේවා ගිවසුමක් යටතේ සේවය කිරිමට විදේශ ගතවන කාන්තාවන් සඳහා වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් සහ 1989 ක්ෂණික දුරකථන ඇමතුම මඟින් ලබාගැනිමට හැකිය.

Leave a Reply