මාළු සහ කරවල මිල ඉහළට

සාමාන්‍ය පාරිභෝගිකයකුට මිල දී ගැනීමට නොහැකි තරමට මාළු මිල ඉහළ ගොස් ඇති නිසා මාළු ලෑලි පවත්වා ගෙන යන බොහෝ වෙළෙඳුන් මාළු වෙළෙඳාම තාවකාලිකව නතර කොට තිබේ.

තොග මිලට ගන්නා මාළුවලට සුළු ලාභයක් තබාගෙන විකුණන මිල සාමාන්‍ය පාරිභෝගිකයාට දරාගත නොහැකි බැවින්, ඒ මිලට මාළු විකිණීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔවුන් පවසති.

අද වෙළෙඳපොළේ කෙලවල්ලා මාළු කිලෝවක් මිල රුපියල් 3,050කි. තලපත් කිලෝවක මිල රුපියල් 3,600කි. හාල්මැස්සන් කිලෝවක මිල 1,600කි. ලොකු හුරුල්ලන් කිලෝවක මිල 1,700කි. ලින්නෝ කිලෝවක මිල රුපියල් 1,400කි. සාලයා, සූඩයා වැනි පොඩි මාළු කිලෝව රුපියල් 900 ඉක්මවා තිබේ.

මේ අතර, සාමාන්‍ය පන්තියේ ජනතාව දැන් කරවල කෑම අතහැර තිබේ. කරවල මිල මාළුවලටත් වඩා ඉහළ ගොස් ඇත. එසේ ම බෙහෝ කරවල වෙළෙඳුන් ළඟ වෙන දා මෙන් කරවල තොග ද නැත.

තලපත් කරවල ග්‍රෑම් 500ක මිල රුපියල් 1,900කි. කිලෝවක මිල රුපියල් 3,800කි. කෙලවල්ලා කිලෝවක මිල රුපියල් 3,200කි. කට්ටා කිලෝවක මිල රුපියල් 3,400කි. සාමාන්‍ය තත්ත්වයේ හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 1,000කි. මේ මිල ගණන් අනුව බොහෝ පාරිභෝගිකයන් කරවල මිලදී ගන්නේ ග්‍රෑම් 100ත් ග්‍රෑම් 250ත් අතර ප්‍රමාණයකි.

ධීවරයන් මසුන් මැරීම සඳහා යොදා ගන්නා බෝට්ටුවලට ඉන්ධන ලබාගත නොහැකි තත්ත්වයක් පැවතීම මෙසේ මාළු හා කරවල මිල ඉහළ යාමට හේතු වී තිබේ.

විශේෂයෙන් මාළු කරවල ප්‍රවාහනයට ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම මෙසේ මිල ඉහළ යාමට තවත් හේතුවක් වී ඇත.

මව්බිම

Leave a Reply