මාස තුනට අඩු කුඩා ළමයින් වෙනුවෙන් ගන්න යන අලුත් තීරණයක්

යම් හේතුවක් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි මාස 03ට අඩු බිළිඳු දරුවන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධික්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379හි කවුළු ස්ථාපිත කිරීම හා ඒ සඳහා පවත්නා නෛතික තත්වයන් ඇතුළු ඉදිරි මග පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම විශේෂ රැස්වීම පැවැත්වුයේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත හෝ ඒවා මගින් අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත බාර දීම හෝ රෝහල්, මහාමඟ වැනි වෙනත් ස්ථානවල අතහැර දමා සාමාන්‍යයෙන් සිදු වන අතර, ඉතා සුළු දරුවන් පිරිසක් එම දෙමාපියන් විසින් මරා දමන අවස්ථාද වාර්තා වන බව මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරින් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුයේ මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතනික නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට මෙම වැඩ පිළිවෙල සඳහා අවශ්‍ය නෛතික රාමුව ඇතුළු මාර්ගෝපදේශ පිළිබඳව සලකා බැලීමට කඩිනමින් කටයුතු කරන ලෙසය.

මෙහිදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරුවන්ගේ මව කවුරුන්ද යන්න පිළිබඳව කෙදිනක හෝ දැනගැන්මට දරුවෙකු හ‍ට අවැසි වුවහොත් එය දරුවෙකුගේ අයිතිවාසිකමක් වන බැවින් මෙලස අතහැර දමන බිළින්දන්ගේ මව්පියන් පිලිබඳ තොරතුරු රහස්‍යභාවය සුරැකෙන පරිදි හෝ යම් ලෙසකින් සටහන් කර ගැනීමේ වැඩපිලිවෙලක් සකස් වීම වැදගත් බවට අවධාරණය කරන ලදී.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශවයන් නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු මෙම විශේෂ රැස්වීමට සහභාගී විය

Leave a Reply