මාසයක් වයසැති බිලිඳියක හබරාදුවේ නිවෙසක තබා මව යන්න ගිහින්

ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ නිවෙසක් තුළ දමා ගොස් තිබූ මාසයක් වයසැති බිලිඳියක් ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම බිලිඳියගේ මව බිලිඳිය තම පියාගේ නිවෙස තුළ දමා ගොස් තිබූ අතර මවුපිය රැකවරණය අහිමිව බිලිඳිය නිවෙස තුළ සිටි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මේ පිළිබඳව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැන ගැනීමට ලැබීමෙන් පසු ඔහු සිය කාර්ය මණ්ඩලය සමඟ එම නිවෙසට ගොස් ඇත. බිලිඳියට අසල නිවෙසකින් එක් වේලක් කිරි ලබාදී තිබූ අතර ඇයට අවශ්‍ය ප්‍රතිකාර කොට ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.

මව දරුවා සමඟ පියාගේ නිවෙසේ සිට ඇත. ඉකුත් 11 වැනිදා උදෑසන බිලිඳියගේ මව හබරාදුව නගරයට යන බව පවසා නිවෙසින් පිටව ගොස් ඇතත් යළි නිවෙසට පැමිණ නැත. නිවෙසේ සිට ඇත්තේ බිලිඳියගේ සීයා සහ වයස අවුරුදු 05ක් හා 08ක් වියැති දරු දෙදෙනා පමණි. සීයා මෙම දරු දෙදෙනාට බිලිඳිය බලාගැනීමට පවරා රැකියාවට ගොස් ඇත.

නිවෙසට පැමිණි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් දැනුවත් කොට බිලිඳියගේ සීයා ලවා හබරාදුව පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක්ද කිරීමට කටයුතු කර තිබේ

මවුපිය රැකවරණය අහිමිව සිටි බිලිඳිය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර බිලිඳිය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *