මාතර කිඹුල් බියක්

කිඹුලන් ගම්වැදීම නිසා මාතර නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ පමණක් නොව මේ වන විට මාතර නගරයේද ජනතාව භීතියට පත්ව තිබේ.

ඉකුත් 09 වැනිදා මාතර වල්පොල ප්‍රදේශයට අඩි පහළොවකට ආසන්න විශාල කිඹුලකු ගම් වැදීමත් සමඟ මෙම කිඹුල් බිය නැවත ඇතිව තිබේ.

මාතර වල්පොල පිලදුව ප්‍රදේශයේ  නිවෙස පිටුපස අඩි පහළොවක් පමණ දිග කිඹුලා රාත්‍රි කාලයේ සිටම එහි සිටි ඇති අතර පසුව ප්‍රදේශවාසීන් දැක ඔවුන් මහත් පරිශ්‍රමයක් දරා කිඹුලා අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදී තිබේ.

එහෙත් එම කිඹුලා භාරගත් වනජීවී නිලධාරීන් කිඹුලා හසුවූ ප්‍රදේශයේ සිට කිලෝමීටර දෙකක් දුරින් මාතර නාදුගල ප්‍රදේශයෙන් නැවත නිල්වලා ගඟට මුදාහැරීම නිසා එම කිඹුලා නැවත නැවතත්  ගම්වැදී ඇති නිසා මාතර වල්පොල, පිලදුව සහ දියගහ නැඟෙනහිර යන ප්‍රදේශවල ජනතාව  මේ වන විට කිඹුල් අවදානමකට ලක්ව තිබේ.

වනජීවී නිලධාරීන්ට විරෝධය පා මාතර වල්පොල සහ පිලදුව ජනතාව ඉකුත්දා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර පසුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආපදා කළමනාකරණ නිලධාරී සහ වනජීවී නිලධාරීන් එක්ව එම ජනතාවට සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය.

එහිදී පැමිණ සිටි වනජීවී නිලධාරියා පැවැසූයේ තම රාජකාරිය, ප්‍රධාන වගකීම කිඹුලා ආරක්ෂා කර ගැනීම බැවින් වහා නිල්වලා ගඟට මුදාහැරි බවය. එහෙත් ජනතාව පවසන්නේ මේ වන විට තමන්ට කුඹුරු වැඩ කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

Leave a Reply