මද්දකට හසුවී සිටි කොටියෙකු බේරාගෙන යලි වනයට මුදාහරි

රාගල මන්ත්‍රීතැන්න ප්‍රදේශයේ ගෙවත්තක පවත්වාගෙන ගිය සත්ව ගොවිපලක දී මද්දකට හසුවී සිටි කොටියෙකු ඉන් මුදාගෙන ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවත වනජීවී රක්ෂිතයකට මුදාහැරීමට පසුගියදා වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.

කොටියෙකු මද්දකට හසුවී ඇති බවට පසුගිය දෙසැම්බර් 24 වැනි දින නුවරඑළිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වෙත ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන්ට මෙලෙස කම්බි මද්දකට හසු වී සිටි වයස අවුරුදු පහක පමණ වන පිරිමි කොටියකු හමුව තිබේ.

රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ ද සහාය ඇතිව මුදා ගත් මෙම කොටියා මද්දට හසුවීම හේතුවෙන් උගේ පපු ප්‍රදේශයේ ඉහළ සහ පහළ සම වෙන් වන සේ දරූනු ලෙස තුවාල වී ඇති බව එහිදී වනජීවි නිලධාරීන්ට නිරීක්ෂණය වි තිබේ

පසුව රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් මෙම කොටියා මාස හතරක පමණ කාලයක් තුළ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව පසුගිය අප්‍රේල් 24 වන දින ආරක්ෂිතව වනජීවී රක්ෂිතයකට නිදහස් කර තිබේ.

පූර්ණ සුවපත් භාවයට පත්ව සිටින කොටියා ගේ වනයේදී හැසිරීම නිරීක්ෂණය කිරීම සඳහා රක්ෂිතයට මුදා හැරීමට පෙර GPS කොලරයක් පැලදවීමට කටයුතු කර තිබේ.

මද්ද ඇටවීම සම්බන්ධයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එම සත්ව ගොවිපල පවත්වාගෙන යන පුද්ගලයාට එරෙහිව වලපනේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැමිණවීමට වනජීවී නිලධාරීන් ක්‍රියා කර තිබේ.

කොටියා මුදා ගැනීමේ මෙහෙයුම සඳහා රන්දෙනිගල වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සභ නුවරඑළිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි නිලධාරීන් සහභාගි වි තිබේ

Leave a Reply