මගීන් පීඩාවට පත් කරන බස් රථවල කැසට් යන්ත්‍රයට නව රෙගුලාසි

මගී ප්‍රවාහන බස් රථවල අධික ශබ්දයෙන් යුතුව කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම පාලනය කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවැසීය.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වන අතර, රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය සපයනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

මෙම රෙගුලාසි සකස් කිරීමට අදාළ සාකච්ඡා වට කීපයක්ම මේ වනවිට පවත්වා තිබෙන බවත්, අදාළ රෙගුලාසි මාස හයක පමණ කාලයකදී සකස් කර අවසන් කිරීමට හැකිවනු ඇති බවත් වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම නිසා මගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවද ඔහු පැවසුවේය.

ඩෙසිබල් 120 ක ශබ්දයක් තත්පර කීපයක් සවන් දීගෙන සිටියහොත් එය සෞඛ්‍යයට අහිතකර බවද ඔහු පැවසීය.

අදාළ රෙගුලාසි සකස් කිරීමෙන් පසු බස් රථ පරීක්ෂා කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සිදු කිරීමට නියමිතය.

බස් රථවල අධික ශබ්දයෙන් නළා (Horn) නාද කිරීම පාලනයට අදාළව මධ්‍යම පරිසර අධිකාරිය විසින් රෙගුලාසි සකස් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත්, එම රෙගුලාසි නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බවද අනාවරණය වේ.

විවිධ නාද රටාවන් ඔස්සේ බස් රථවල නළා ශබ්ද කෙරෙන අතර, මෙම නළා වර්ග බොහොමයක් ආනයනය කරන ලද ඒවා බවද පරිසරවේදීහු කියා සිටිති.

Leave a Reply