බැංකුවෙන් 1,60,000ක් උස්සලා විදුලි බිලයි වතුර බිලයි ගෙවලා

පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයට දැමීමට තිබූ මුදල් සොරාගෙන තම විදුලි සහ දුරකථන බිල්පත් ගෙවූ බැංකු ආරක්ෂක නිලධාරියකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකි.

අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමනාකරු විසින් බැංකු ආරක්ෂක නිලධාරියා සමඟ රුපියල් ලක්ෂ අනූවක මුදලක් පසුගිය 21 වැනි දින ATM  යන්ත්‍රයට දමා ඇත. පසුදින බැංකු සහකාර කළමනාකරු විසින් එම ATM යන්ත්‍රයේ ඇති ඉතිරි මුදල් පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසේ නෝට්ටු තිස් දෙකක් වන රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් අඩු බවට බැංකුව දැනුවත් කර ATM යන්ත්‍රයට මුදල් බැර කරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පරික්ෂා කිරීමේදී යන්ත්‍රවලට මුදල් දමන අවස්ථාවේදී පුටුව මත තබා තිබූ මුදල්වලින් කොටසක් එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් සොරාගෙන ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා අයුරු දැකගන්නට ලැබී ඇත.

සැකකරු සොරා ගන්නා ලද මුදලෙන් කොටසක් ඔහු තම නිවෙසේ විදුලි සහ දුරකථන බිල්පත් ගෙවීම සඳහා වැය කර ඇති අතර ඉතිරි මුදල් සැකකරුගේ බැංකු ගිණුම් දෙකකට බැරකර තිබියදී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply