පීඩන අවපාතය ශ්‍රි ලංකාවෙන් එළියට

ශ්‍රී ලංකාව හරහා ගමන් පැවති පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට පත්වී ඊයේ (2) රාත්‍රියේ දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව අද (03) සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය

කෙසේ වෙතත් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Leave a Reply