පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුල නැගෙනහිර වෙරළට

ත්‍රිකුණාමලයට නැගෙනහිර දෙසින් පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුල ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා ශ්‍රි ලංකාවට ඇතුළු විය හැකි බව ජාත්‍යන්තර කාලගුණ අංශ හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මි.150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එහි සදහන්ය.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50 – 60 පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 – 50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply