ප්‍රධාන ජල සැපයුම් මාර්ගයකට යොදා තිබු යකඩ බ්‍රැකට් හොරු අරන් ගිහින්

බණ්ඩාරගම, ගම්මන්පිල වැව ආසන්නයේ පොළොව මතුපිටින් ගමන් ගන්නා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයට යොදා තිබෙන යකඩ බ්‍රැකට් හතක් කිසියම් පිරිසක් ගලවා ගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

බණ්ඩාරගම සිට කැස්බෑව දක්වා යොදා තිබෙන මිලිමීටර් 1000 විෂ්කම්භයෙන් යුත් ප්‍රධාන ජල සැපයුම් මාර්ගයට යොදා තිබූ යකඩ බ්‍රැකට් මෙලෙස සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කඳාන ජල පවිත්‍රාගාරයේ වැඩ භාර නිලධාරිවරයා විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකර ඇත.

අධි ධාරාවකින් යුත් ජල ප්‍රමාණයක් ජල නළය තුළින් ගලාගෙන යාම හේතුවෙන් එයට ශක්තියක් ලබාදීම සඳහා මෙම යකඩ බ්‍රැකට් සවිකර තිබේ.

මීට වසර 8 කට පමණ ඉහතදී මෙම යකඩ බ්‍රැකට් සවිකර ඇති අතර එක බ්‍රැකට් එකක බර කිලෝ 15-20ක් අතර ප්‍රමාණයක්  වන බව පොලිසිය සඳහන් කළේ ය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂකවරයා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මව්බිම

Leave a Reply