පළාත් පාලන මැතිවරණ කල් යන ලකුණු – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ. 

එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණ ද එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදුකළ යුතු බව ඔහුද සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ (17) සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *