දෙමටගොඩ දුම්රිය අංගණයෙන් එන්ජින් ඔයිල් තොග පිටින් පන්නලා

දුම්රිය එන්ජින් සඳහා යොදන ඉතා වටිනා ලිහිසි තෙල් වර්ගයක් දෙමටගොඩ දුම්රිය අංගණයේ සිට හොර රහසේ රැගෙන ගොස් අලෙවි කරන ජාවාරමක් අල්ලා ගැනීමට සමත් වූ බව දුම්රිය ආරක්ෂක අංශය සඳහන් කරයි.

එම අංගණයේ සිටින සේවක පිරිසක් විසින් කාලයක් තිස්සේ සිදුකර ඇති එම ජාවාරම සමඟ ඔවුන් සිටි දුම්රිය විවේකාගාර නවාතැන්පළද සීල් කිරීමට දුම්රිය ආරක්ෂක අංශය පියවර ගෙන තිබේ.

ATM නමැති මෙම ලිහිසි තෙල් දුම්රිය එන්ජින් හා ගියර් පෙට්ටි සඳහා භාවිත කරන අතර එම තෙල් සොරකම නිසා ඒවා භාවිත නොවීමෙන් ඉතා ඉක්මනින් මෙම ගියර පෙට්ටි හා එන්ජින් අකර්මණ්‍ය වීම නිසා මේ පිළිබඳව සොයමින් සිටියදී මෙම ජාවාරම හෙළි වී තිබේ.

මෙසේ එම ගියර් පෙට්ටි හා එන්ජින් විනාශවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බවද හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශය සහ දෙමටගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply