තුර්කි – සිරියා භු චලනයෙන් විපතට පත් අය වෙනුවෙන් මෙසී ඇතුළු පාපන්දු තරු පෙරට

තුර්කියේ සිදුවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීමට මෙවර ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී විසින් යූරෝ මිලියන 3.5ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 137කට ආසන්න) මුදලක් මෙම භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට ආධාර ලෙස පිහිටුවා ඇති අරමුදල සදහා පිරිනමා ඇති බව සඳහන්ය.

එසේම තනි පුද්ගලයකු එම අරමුදල සඳහා බැර කෙරුණු විශාලතම මුදල ලෙසද එය වාර්තා වන බව අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් සදහන්ය.

එයට අමතරව බ්‍රසීලයේ නේමාර්, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රංශයේ කායිලියන් එම්බාපේ ද මෙම විපතට පත්වූවන්ට සහන සැළසීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති බවද සඳහන්ය. ඒ අනුව ඉහත සඳහන් කළ ක්‍රීඩකයින් ඇතුළු සුපිරි පාපන්දු තරු රැසක්ම තම සිහිවටන ජර්සි වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරමින් ඉන් එක්රැස්වන මුදල් මෙලෙස භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම වෙනුවෙන් යොමු කර තිබීමද විශේෂත්වයකි.

මෙලෙස වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සතු සිහිවටන ජර්සියක් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 3කට අධික වටිනාකමක් හිමිව ඇති බව එම වාර්තා සඳහන් කළේය.

Leave a Reply